Monday, March 19, 2012

Sri Lanka Railway workshop at Ratmalana


ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයිති රත්මලාන දුම්රිය අංගනය සහ වැඩබිම දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන විශාලතම අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය ලෙස සැලකෙයි. මෙය නැරඹීම සදහා සාමාන්‍ය පුද්ගලයන් හට ඉඩ ලබා නොදෙන අතර විශේෂ අවසරයක් තිබිය යුතුය. මෙය ප්‍රධාන ඉංජිනේරුවරයකු සහ වෙනත් ඉංජිනේරුවරුන් විශාල ප්‍රමානයකින් මෙන්ම සේවකයින් 1000කගෙන් පමණ යුතු  වැඩවැඩබිමකි.මෙම වැඩබිම තුලට පිටස්තර අයට ඇතුල්වීම තහනම් වන අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දශක ගනනක් තිස්සේ විවිධ යුගවලදී භාවිතාකරන ලද උපකරණ එන්ජින් ආදිය රැසක් මේ තුල තිබෙයි. පසුගිය දිනෙක දුම්රියට ආදරය කරන අපගේ සහෘදයන් කිහිපදෙනෙකුට රත්මලාන වැඩබිම නැරඹීමට ඉඩ ප්‍රස්තාව ලැබුන අතර ඔවුන් විසින් අනාවරණය කරගත් හද සසල කරවන තොරතුරු සමුදායකින් බිදක් මෙසේ ඔබ හමුවේ තබමි. මෙම තොරතුරු ගවේෂනය කිරීම සහ ඡායාරූප ලබාගැනීම පිළිබදව රේල් හන්දියේ සහෘදයින් වන සඳරුවන් කුඩාහෙට්ටි, ටජ්මාල් නයනදිල්, මනුර රූපසිංහ,චතුරංග කෝරළගේ සහ මාධව සොයුරන්ට ස්තුතිවන්ත වෙමි.
මෙරට මුල්ම ඩීසල් එන්ජිම GI/500



ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම GI - 500 දුම්රිය එන්ජිමයි. මෙය 1934 දී ගෙනැවිත් ඇති අතර amstong whiroth සමාගම විසින් නිපදවන ලද්දක්යැයි පැවසේ. ඉතා වටිනා මිලකල නොහැකි දුම්රිය එන්ජිමක් වන මෙය රත්මලාන කම්හල් බිම තුල  පැත්තක දමා තිබෙන අයුරු දැක්වේ. මේවා යලිත් අලුත්වැඩියාකොට තැබීමට හෝ සුරක්ෂිත ස්ථානයක තැන්පත් කර තැබීමට බළධාරීන්ට කිසිදු උවමනාවක් ඇති බවක් නොපෙනෙයි. පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ එම එන්ජිමේ ඩ්‍රයිවින් කැබ් එක වන අතර එයද මළකඩ බැඳ දිරාපත්වෙමින් පවතී. සමහර කොටස් ගලවාදමා ඇති බවද පෙනෙයි

දිරාපත්වෙමින් පවතින සද්ධන්තයින්
M1 දුම්රිය එන්ජිම යනු ඉතිහාසය තුල දුම්රිය සේවය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටකොට දැනට විශ්‍රාම සුවයෙන් පසුවන දුම්රිය එන්ජිමකි. මෙය දෙමටගොඩ 560 අංකය සහිතව දැකගත හැකි අතර රත්මලාන කම්හල් බිම තුලද එවැනි දුම්රිය එන්ජිමක් දිරාපත්වෙමින් පවතී. මේවා මෙසේ දිරාපත්වන්නට හැර තිබීම ජාතික අපරාධයන්ය. දුම්රිය කෞතුකාගාරයේ තැන්පත්කොට තැබිය යුතු වටිනා සංරක්ෂන භාණ්ඩ මෙලෙස කැලෑවෙන් වැසී තිබෙන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
මෙම දුම්රිය එන්ජින් 1950 දී ලංකාවට ගෙන්වා ඇති අතර ඒවා ජර්මනියේ නිපදවා තිබේ. මේවා ගෙන්වා ඇත්තේ දුම්රිය සේවයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන රම්පාල යුගයේය.වර්තමානයේ සිදුවන මෙම විනාශයන් දුටුවානම් එතුමා සියතින් ගෙල සිරකරගනු ඇත.

W1 දුම්රිය එන්ජින් විනාශමුඛයට ඇද දමා ඇති අයුරු
1969 දී රම්පාල මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරය හොබවන කාලයේ දී ගෙන්වනලද තවත් සුවිශේෂී එන්ජිමකි W1 එන්ජිම. මේවා 45ක් ගෙන්වා ඇතත් අද දකින්නට තිබෙන්නේ 2ක් පමණයි. තවත් 10ක් 1995 දී W3වලට හරවා ඇත. ඉතිරි W1 එන්ජින් 30කට පමණ සිදුව තිබෙන දෙය මෙම ඡායාරූප වලින් මනාව පිළිබිබු වේ.
හදුනාගත නොහැකි මෙම W1 එන්ජිම එතරම් දිරාපත්වී නැති අයුරු පෙනෙන අතර එලිමහනේ දමා තිබිම නිසා අව් වැසිවලට ලක්වීමෙන් පහසුවෙන් දිරායාමට ඉඩකඩ ඇත. මේවාට අලුත් එන්ජින් සවිකර ධාවනය කිරීමෙන් විදේශමුදල් සම්බාරයක් ඉතිරිකරගත නොහැක්කේද? මෙරට දුම්රිය ඉංජිනේරුවන් කුමක් කරන්නේද? පහත ඇති ඡායාරූපය දෙස බලන්න පෙනෙන තෙක් දුරට W1 දුම්රිය එන්ජින් එක පෙලකට නවතා දමා ඇති අතර මේවායේ ‍‍බොහෝ කොටස් එන්ජින් ආදිය ඉවත්කර ඇති බවද පැහැදිලිවේ. ඒවාට කුමක් සිදුඋනිද? මේවා මෙලෙස දිරාපත්වන්නට හැර තිබෙන්නේ ඇයි? දකුණු පස ඡායාරූපයේ දැක්වෙන W1 671 දුම්රිය එන්ජිමේද ‍ඇතැම් කොටස් ගලවා ඉවත්කර අතහැර දමා ඇති අයුරු පෙනේයි. මේවා re-engine කර වැඩකට ගත නොහැක්කේ මන්ද? අපේ දුම්රිය ඉංජිනේරුවන් සහ සේවකයින් රජයෙන් වැටුප් ලබන්නේ මේවා මෙසේ කැලෑවට වැසී දිරායන්නට ගාල්කර තැබීමටද? වම් පැත්තේ තිබෙන්නේ W1 663 දුම්රිය එන්ජිමයි. එයද දිරාපත්වන්නට ඉඩහැර තිබේ.








කදුකරයේ යෝධයා ගැරට් එන්ජිම සොයා යමින්.....


ගැරට් දුම්රිය එන්ජින් යනු උඩරට දුම්රිය මාර්ගය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කල දුම්රිය එන්ජිමකි. දැනට මේ දුම්රිය එන්ජින්ද භාවිතා නොකරන අතර ලංකාවේ ඇත්තේ දෙකක් පමණි. ඉන් එකක් දෙමටගොඩ වන අතර අනෙක රත්මලාන භූමියේය. එයටද අත්ව ඇත්තේ සුපුරුදු දුම්රිය එන්ජින් වලට අත්ව ඇති ඉරණමම බව පැහැදිලිවේ. මේ ගැරට් දුම්රිය එන්ජිමේ අංකය 347 වේ. මෙම මහඟු වස්තුව ද දිරාපත් වෙමින් පවතින අතර එය සංරක්ෂණය කිරීමේ කිසිදු උවමනාවක් ඇති සෙයක් නොපෙනෙයි.


M5 එන්ජිනුත් දිරායයි
කලකට ඉහත දී උඩරට මාර්ගයේ ධාවනයවූ එම් 5 වර්ගයේ එන්ජින් දෙකක්ද විනාශවීමට ඉඩ හැර ඇති අයුරු අපේ මිතුරන්ට ඡායාරූපගතකිරීමට හැකිවිය. M5a 769  M5 774ඒවාය  M5 770 ද පැත්තකට දමා තිබේ. මේවා යලි හදන්නට උනන්දුවක් කිසිවකුගේ නැති බව පෙනෙයි. කැටෆිලර් එන්ජින් තබා M5c (පූ‍සන්) බවට හරවන්නට පුලුවන් උනත් ඒ ගැන කිසිවෙකුත් ක්‍රියාත්මක වී නැත.

N3-001 කෑලි 
ගම් උදාවේ ධාවනයට 1990 දී සාදන ලද N2 730 විදුලි දුම්රිය (පසුව N3 001) ද රත්මලාන කම්හල් බිම තුල විනාශවන්නට හැර තිබෙන අයුරු දිස්විය. මෙය ශ්‍රී ලංකාවේ එදා මෙදා තුල තිබූ එකම විදුලි දුම්රියයි. එදා ඇල්ස්ටොම් පැන්ටොග්‍රාෆ් උපකරනයක් මෙහි තිබූ අතර එයද අද දවසේ දැකගන්නට නැත. ‍‍එන්ජිමේ ‍බොහෝ කෑලි නැත. එදා මේ එන්ජිම තිබූ අයුරු සහ අද තිබෙන අයුරු පහත සන්සන්දනාත්මකව සිදුකර ඇත. වෙනස බලා ශෝක  වීම හැර අන්යමක් ඉතුරුවී නැත.






අද තිබෙන අයුරු තැන් තැන්වල දමා ඇති කෑලි
එදා සහ අද වෙනස

N3 001 Number Plate එක